Friday, June 15, 2018

අධිවේගී මාර්ගයේ මෝටර් රථ ධාවනය කරන ඔබට..




ලංකාවට අධිවේගී මාර්ග හඳුන්වාදී කාලයක් ගතවුවත් මාර්ග නීති උල්ලංඝණය වීම් මෙන්ම, හදිසි අනතුරු බහුල වශයෙන් සිදුවේ. අධික වේගයෙන් රිය පැදවීම, අපරීක්ෂාකාරී රිය පැදවීම, වමෙන් නොපැදවීම, ආසන පටි නොපැළඳ ධාවනය කිරීම වැනි ක‍්‍රියා නිසා රියදුරන් විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්ථා වෙයි. ඉතා පහසුවෙන් ගමනාන්තය කරා ළඟාවීමට අද බොහෝ දෙනා භාවිතා කරන්නේ අධිවේගී මාර්ගයයි. මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කරන ඔබ සැලකිලිමත් වියයුතු කරුණු කිහිපයක් පිළිබඳව මෙම ලිපියෙන් විමසා බලමු.

ඔබගේ වාහනය පැයට කිලෝමීටර් සියයයේ වේගයෙන් ධාවනය කළ නොහැකි තත්ත්වයක පවතින්නේ නම් වාහනය අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමෙන් වැළකීම වැදගත්. එනම් අධිවේගී මාර්ගයේ වාහනය ධාවනය කිරීමට පෙර ඔබේ වාහනය හොඳ කාර්මික තත්ත්වයක පවතීද නැද්ද යන්න පිළිබඳ දැන සිටිය යුතුයි. එය ඔබගේ ජීවියතට මෙන්ම තවත් ජීවිත කිහිපයකට පවතින අනතුරු අවධානම අවම කර ගැනීමේ මාර්ගයකි.

එමෙන්ම අධිවේගී මාර්ගය යනු ඔබගේ වාහනයේ තත්ත්වය උරගා බලන හෝ වේගයෙන් ධාවනය කළ හැකි ඔබගේ හැකියාවන් උරගා බලන ස්ථානයක් නොවේ. සාමාන්‍ය මාර්ගයකදී මෙන් නොව අධිවේගී මාර්ගයේදී වාහනය හැසිරවිය යුතු ආකාරය වෙනස් බව මතකතබා ගතයුතුයි. මාර්ගයේ සිදුවන යම් අවස්ථාවකට ප‍්‍රතික‍්‍රියා දැක්වීමට ඇති කාලය ඉතා සීමිත වෙයි. මේ නිසා ඉතා අවධානයෙන් යුතුව වාහනය ධාවනය කිරීම හදිසි අනතුරු වළක්වා ගැනීමට මගපාදයි.

අධිවේගී මාර්ගයේ ගමන් කරන විට වාහනයේ ඉදිරිපස දෙදෙනා මෙන්ම පිටුපස සිටින සියලූම දෙනා සීට් බෙල්ට් පැළදීම අනිවාර්යෙන් කරන්න. එමෙන් කුඩා දරුවන් රැුගෙන යන විටද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඔවුන් සඳහා සීට් බෙල්ට් හෝ බූස්ටර් සීට් (Booster Seat) පාවිච්චි කිරීම සුදුසු වෙයි. අධිවේගී මාර්ගයේදී දරුවන් උකුළ උඩ රැුගෙන යාමෙන්ද වැළකිය යුතුයි.



එමෙන්ම ඔබ ඉදිරියේ ඇති වාහනයක් ඉස්සර කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබ භාවිතා කළ යුත්තේ වම්පස මංතීරුවයි. එසේ කිරීමෙන් ඔබට පිටුපස වාහනයට ඔබව පසුකර ගෙන යාමට දකුණු පස මංතීරුව භාවිතා කළ හැකිය.

ඉදිරියේ ඇති වාහනයක් ඉස්සර කිරීමට යාමේදී කළ යුතු පිළිවෙලක් පවතී. මුලින්ම ඔබ වාහනයේ දකුණට සිග්නල් දමා තත්පර තුනක් වම් මංතීරුවේ ධාවනය කරන්න. තත්පර තුනක සිග්නල් දැමීමේ කාලය ඇතුළත දී ඔබට පිටුපසින් දකුණු මාර්ගයේ වාහනයක ඔබට ඉස්සර කිරීමට පැමිණෙනවාදැයි බැලීමට හැකියාව ලැබෙයි. දකුණ මංතීරුවේ වාහන නොමැතිනම් ඔබගේ වාහනය දකුණු මාර්ගයෙන් ඉදිරියට ධාවනය කරන්න. ඔබ ඉස්සර කරනු ලැබූ වාහනයේ ඉදිරිපස ඔබගේ වාහනයේ පිටුපස බලන කණ්ණාඩියෙන් පෙනෙන තෙක් ඉදිරියට ගොස් වමට තත්පර තුනක් සිග්නල් කර වම් මංතීරුවට වාහනය ගන්න. මෙවැනි ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කිරීමෙන් රිය අනතුරු වළක්වා ගැනීමට හැකියාව ලැබෙයි.

අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී සැළකිලිමත් වියයුතු තවත් වැදගත් කරුණක් මේ ඔබගේ රථය සහ ඔබට ඉදිරියෙන් ඇතිි රථය අතර සෑම විටම තත්පර දෙකක දුරක් පවත්වාගෙන යාමයි. හදිසියේ ඉදිරි වාහනයේ වේගය බාල වුවහොත් ඒ සඳහා ප‍්‍රතිචාර දැක්වීමට පිටුපස ඇති ඔබේ වාහනයට ඇති තරම් වේලාවක් ලබා ගැනිීමට මෙමගින් හැකියාව ලබාදෙයි.

අධිවේගී මාර්ගයේදී ඔබගේ වාහනය කාර්මික දෝෂයකට ලක්වුවහොත්??? ධාවනය අතරතුර වාහනය නැවතුණහොත් වාහනය හැකි තරම් වමට ගෙන මාර්ගයෙන් අයින් කර තබා වාහනයටමවී සිටින්න. වාහනයේ හැසට් ලයිට් දල්වන්න. පාලන මධ්‍යස්ථානයට ඇමතීමට අවශ්‍ය නම් ඉක්මනින් එම කටයුත්ත ඉටුකර වාහනය තුළටම වී සිටිය යුතුයි. හුළං ගිය රෝද මාරු කිරීමට හෝ අනෙකුත් වාහන නැවැත්වීමට යාමෙන් වළකින්න. 



No comments:

Post a Comment