Saturday, August 11, 2018

ඉතිරියට හුරු වෙමු




ඉතිරි කිරීම යනු ලොභකමවත් මසුරුකමවත් නොවේ. එහි අර්ථය දිවිය මනාව සකස් කර ගැනීමට හුරුවීම යන්නයි. වර්තමානයේ බොහෝදෙනාට ඉතිරි කිරීම පිළිබඳව නිසි අවබෝධයක් නැහැ. අප ඉතිරිකිරීම ආරම්භ කල යුත්තේ නිවසේදිමයි. අතීතයේ ගෘහණිය සකසුරුවම මනසේ හැඩගැසී පුරුදු වී සිටියෝය. අතීතයේ නිවසේ ගෘහණිය ඇතිනම් අම්මා පොඩි මුදලක් සීට්ටු දමා ගෙදරට අවශ්‍ය බඩු බාහිරාදිය ටික ටික අකතු කිරීමට පුරුදු වී සිටියා. නිවසේ ඉතුරුවන බත් නිකරුනේ විසි නොකර ඒවා වෙලා රසවත් අග්ගලා සේදුවා. අටුකොස්, ලුණුදෙහි දැමීමද එවැනි එවැනි ඉතිරිවන දේ වලින් ගත් ප්‍රයෝජනයි. මිට මිට එකතු කරගත් මිටි හාල් මුට්ටිය නිවසේ හාල් හිඟවූ දාට බොහෝ ප්‍රයෝජනවත් වුණා.

මෙලෙස බැලු විට සකසුරුවම පිලිබඳ පළමු පාඩම අපට කියාදෙන්නේ අම්මයි. වර්තමානයේ ඔබ ගෙවන කාර්ය බහුල ජීවිතයත් සමගම ඉතිරි කිරීම ඔබෙන් ගිලිහී යන දෙයක් වෙන්නට පුළුවන්. අරපිරිමැස්ම පුරුද්දක් වශයෙන් කරගෙන යාමට හැඩගැසෙන්නේ නම් එය පහසුවක් වනු ඇත.

ඔබ ඉතිරියට හුරු වන්නේ අනාගත ප්‍රයෝජනය  සඳහායි. අනාගතයේදී සිදුවිය හැකි අර්බුද අවිනිශ්චිතයි. එයට සුදානම් වීමට නම් අප උපයන ධනය ඉතිරි කරගත යුතුමයි. ආගමික ශාස්තෘවරුන් පවා දේශනා කර ඇත්තේ නොපිරිහෙන්නට නම් ශ්‍රමය, ධනය, කාලය ඉතිරි කල යුතු බවයි. සේම මසකම  ඔබ උපයන මුදලින් යම් සෙලකිය යුතු ප්‍රතිශතයක් පුරුද්දක් ලෙස ඉතුරු කිරීමට හැකි වේනම් එය ඔබ ලබන ජයග්‍රහණයකි. එමෙන්ම උපයන ධනය සකසුරුවම් ලෙස වියදම් කිරීමටද ඔබ හුරුවිය යුතුයි. පරිබෝජනයේදී තමන්ගේ ඇඳුම් පැළඳුම් කෑමබීම පිළිබඳවත් නොසිතා අනවශ්‍ය වියදම් වෙනුවෙන් නයවිමෙන් හෝ වියදම් කරයි. එය වෙනස් කොට තම වෙනුවෙන්ද යම් මුදලක් ඉතිරි කිරීමට ඉටාගත යුතුයි.


මුදල් වියදම සඳහා නිසි සැලසුමක් සකස්කර ගන්නේ නම් එය ඵලදායි අරපිරිමසන පිළිවෙලකි. අයවැය ලේඛනයක් සකස් කරගෙන එයට අනුකුලව ඉතුරුකරන්නේ නම් ඔබට ඔබේ ඉතුරුම් ඉලක්ක පවා සපුරාගත හැකිය. එහිදී මුලික පියවර වශයෙන් ඔබේ අවශ්‍යතා හා උවමනා හඳුනාගන්න. ඔබේ අයවැය ලේකනයේ මාසික වියදම් තුලනය කරගැනීමට අඩු වැදගත්කමකින් යුත් වියදම් කපාහැරිය හැකියි. එවිට කිසියම් අවශතාවක් හෝ අවශ්‍යතා ගණනාවක් වෙනුවෙන් මාසිකව ඔබට වියදම් කල හැකි මුදල් ප්‍රමාණය ඔබට ලබාගැනීමට හැකියාව ඇත.

නිවසේ ආර්ථිකය ගොඩනගා ගැනීමට එදිනෙදා වෙළඳපොළට යන වියදම් අවම කරගන්න පුරුදු වෙන්න. ඔබේ ගෙවත්තෙහි එළවලු පලතුරු වගාකර පරිභෝජනය කිරීමට හැකියාව ලබෙනේනම් ඔබට වස විස නැති අහාර ලබාගැනීමට හැකියාව ලැබෙන්නාව මෙන්ම දෙඉනිකව කෑමබීම සඳහා යන වියදමද අවමවේ.
එමෙන්ම නිවසේ අනවශ්‍ය ලෙස නාස්තිවන විදුලිය ජලය පවා අරපිරිමැස්මෙන් භාවිතයට හුරුවීම සකසුරුවමයි. එය ඔබේ මුදල් පසුම්බියට මෙන්ම රටේ ආර්ථිකයටත් සැහැල්ලුවක් වනු ඇත.

 මෙලෙස ඔබ සකසුරුවම් පුරුදු පුහුණු විය යුත්තේ නිවසේදීමය. ජීවිතයේ සියලු කටයුතුවලදී  සකසුරුවම වඩාත් අත්‍යාවශ්‍ය දෙයකි. නිවසේදී පමණක් නොව කාර්යාලයේදී වැඩබිමේදී සකසුරුවම හා අරපිරිමැස්මෙන් කටයුතු කරන්නම් ඔබේ ඉදිරි අනාගතය සරු කර ගැනීමට හැකියාව ලැබෙනවා මෙන්ම එය රටේ අනාගතයකට ශක්තිමත් අඩිතාලමක් වෙයි.