Friday, June 15, 2018

මෝටර් රථයේ අනාගතය...




අද ලෝකය විවිධාකාරයෙන් වෙනස්වීම්වලට භාජනය වේ. එදා පැවතුණු දෙය අද වෙනස්වන්නට ගත වන්නේ ඉතා කෙටි කාලයකි. අද සොබාදහම පවා ක‍්‍රමක‍්‍රමයෙන් වෙනස්වීම්වලට භාජනය වෙමින් පවතින්නකි. තාක්ෂණය ද එවැනි නිරන්තරයෙන් වෙනස් වන වැඩිදියුණු වන ක්‍ෂෙත‍්‍රයකි. 18 වන සියවසේ කාර්මික විප්ලවයත් සමඟ ඇති වූ මෙම තාක්ෂණික ප‍්‍රගමනයේ අනාගතය කිනම් ආකාරයකට වෙනස්වීමට ඉඩ ප‍්‍රස්ථාව පවතී ද යන්න සිතා ගත නොහැකි තරම්ය. තාක්ෂණය එතරම් ක්ෂණයකින් වෙනස් වන්නකි. 

වර්තමානයේ මෝටර් රථ තාක්ෂණය ද එවැනි වූ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. ගෝලීය වශයෙන් වැඩිදියුණු වන මෝටර් රථ නිෂ්පාදන තාක්ෂණයේ අලූත්ම පෙරළිය ලේසර් කිරණ බලයෙන් ජව ගැන්වෙන මෝටර් රථ තාක්ෂණයයි. චැජරල් 2 එක්ස් වීජිටී නම් වූ මෝටර් රථය නිෂ්පාදනය කිරීමට ඇමරිකාවේ චවර්ලට් මෝටර් රථ නිෂ්පාදන සමාගම සමත් වූවා. අධිවේගී මෝටර් රථ ධාවන තරගවල මෝටර් රථයක පෙනුම ගත් මෙම රථය සාමාන්‍ය මාර්ගයේ ධාවනය කළ හැකි වන පරිදි වෙනස් කිරීමට මෙම සමාගම කටයුතු කරයි. මෙම මෝටර් රථයේ සවි කර ඇති ලේසර් කිරණ ජනකයකින් අති ප‍්‍රබල ලේසර් ස්පන්්ද ද ජනනය කරවා අනතුරුව එම ස්පන්ද ආධාරයෙන් විශේෂ සුළං ජනක යන්ත‍්‍රයක් ක‍්‍රියාත්මක කරවා එයින් උපදින වේගවත් සුළං ධාරා උපයෝගී කරගෙන මෝටර් රථය ධාවනය කරවයි. මෙම සුළංජනක යන්ත‍්‍රයක් අශ්ව බල 900 ක බලයක් ලබාගත හැකි වන අතර මෝටර් රථය සැහැල්ලූ වීම නිසා එයට ක්ෂණික ත්වරණයක් ඇති කරයි. මෝටර් රථයේ රියැදුරාගේ ආසනය නිදා සිටින ඉරියව්වකින් සකස් කර ඇත. එමගින් සාමාන්‍ය අවස්ථාවකදී මෝටර් රථයට එක්කෙරෙන ආම්පන්න ප‍්‍රමාණය අඩු කරගෙන මෝටර් රථය ඉතා සැහැල්ලූ වෙන ලෙස නිර්මාණය කර ඇත. 

නුදුරු අනාගතයේදී මෝටර් රථ භාවිත කරන්නත් අතර විලාසිතාවක් බවට පත්වනු ඇතැයි විශ්වාස කෙරෙන්නේ ස්වයංක‍්‍රීය මෝටර් රථයි. (Self driving car) පරිගණක ගත කළ කැමරා GPS තාක්ෂණය, පරිසරය තේරුම් ගත හැකි සියුම් සංවේදක ආශ‍්‍රයෙන් මෙම මෝටර් රථ ක‍්‍රියාත්මක වේ. මෙම මෝටර් රථය සඳහා ඉන්ධන අවශ්‍ය නොවන අතර වැඩිපුරම විදුලි බලයෙන් ක‍්‍රියා කරයි. මෝටර් රථය නතර කර ඇති අවස්ථාවලදී ස්වයංක‍්‍රීයව මෝටර් රථය බැටරිය චාජ් කර ගනු ඇත. එමෙන්ම වාහනය ගාල් කිරීමට (parking) සුදුසු තැනක් සොයා  යාමටද අවශ්‍යතාවක් නොමැත. ස්වයංක‍්‍රීය මෝටර් රථය ඔබට අවශ්‍ය ස්ථානයට ගෙන ගොස් ස්වයංක‍්‍රීය වාහනය ගාල් කිරීමට සුදුසු තැනක් සොයා ගනී. සංඥාවක් යැවූ සැණින් නැවත ඔබ සිටින ස්ථානයට මෝටර් රථය පැමිණෙනු ඇත. විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම ස්වයංක‍්‍රීය මෝටර් රථ තාක්ෂණය වැඩිම වාසියක් අත්කර දෙන්නේ විවිධ ආබාධිත තත්ත්වයෙන් පීඩා විඳින පිරිසට බවයි. මොනම විදියක ශාරීරික ආබාධයකින් පීඩා වින්ද ද ඔවුන්ව නිරුපද්‍රිතව අවශ්‍ය ස්ථාන කරා ගෙන යාමේ පහසුකම මෙම ස්වයංක‍්‍රීය මෝටර් රථවලට ඇත. අද වන විට ලොව ප‍්‍රකට මෝටර් රථ සමාගම් ගණනාවක් ඇමරිකානු ඩොලර් මිලියන ගණනින් වූ අරමුදල් ස්වයංකී‍්‍රය මෝටර් රථ නිෂ්පාදන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කිරීමට දැනටමත් කටයුතු සැලසුම් කර ඇත. නොදුරු අනාගතයේදී මෙම අපූර්ව වූ මෝටර් රථයට හිමිකම් කීමට ලොව පුරා ජනතාවට හැකියාව ලැබේවි. මෙම ස්වයංක‍්‍රීය තාක්ෂණය භාවිතයෙන් මිනිස් වැරදි හේතුවෙන් සිදුවන රථවාහන අනතුරු 95‍්‍ර කින් පමණ අවම කර ගැනීමට ද හැකියාව ලැබේ. 


විසි එක් වන ශත වර්ෂයේ මෝටර් රථයේ ඊළඟ විප්ලවීය පෙරළිය වන්නේ පියාසර මෝටර් රථයයි. 1940 දී හෙන්රි ෆෝඞ් විසින් දෙමුහුන් අහස් යාත‍්‍රා සහ මෝටර් රථ අනාගතයේ බිහි වන බවට අනාවැකි පළ කළ ද මෝටර් රථ පාරිභෝගිකයින්ට එය ප‍්‍රායෝගිකව සත්‍යක් නොවීය.Aero Mobil වැනි සුප‍්‍රකට මෝටර් රථ සමාගම් පියාසර මෝටර් රථය ප‍්‍රායෝගික ස්කෑන් කිරීමට විවිධ වූ ව්‍යාපෘති සැලසුම් පර්යේෂණ කරගෙන යයි.Aero Mobil සමාගමට අනුව පළමු පියාසර මෝටර් රථය ආසන දෙකකින් සමන්විත වන අතර එය මෝටර් රථයක් ලෙස මහා මාර්ගයේදී පැයට කිලෝමීටර 160 ක වේගයෙන් ධාවනය වන අතර අහස් යානයක් ලෙස ගුවනේදී පැයට කිලෝමීටර 200ක වේගයෙන් අහසේ පියාසර කරයි. නිවසේ ඇති ගරාජයක වුවද නවතා තැබීමට තරම් කුඩා වන එයට සාමාන්‍ය ඉන්ධනවලින් ධාවනය කළ හැකි වන අන්දමින් නිෂ්පාදනය වෙයි.  ඕනෑම කුඩා බිම් තීරුවක් මත බැස්සවීමට ද හැකියාව ඇති බැවින් එයටම වෙන් වූ ගුවන් යානා මංතීරු අවශ්‍ය නොවන බව මෙම සමාගම තවදුරටත් ප‍්‍රකාශ කරයි. 

වර්තමානයේ මෙවැනි පර්යේෂණ මට්ටමේ පවතින මෝටර් රථ තාක්ෂණය හේතුවෙන් අනාගතයේ සුපිරි මෝටර් රථයක අත්දැකීම විඳින්නට අපට ද හැකියාව ලැබෙනු නොඅනුමානයි.

ෂෙහානි ලියනආරච්චි



3 comments: