Tuesday, March 27, 2018

සිහින නිවහන ගොඩනගමු...

  සිහින නිවහන ගොඩනගමු...





  ඔබ අප සියලු දෙනා ජීවත්වන්නේ සිහිනත් සමඟයි. අප දකින සිහින යථාර්ථයක් බවට පත්කර ගැනීමට අප කොතෙකුත් උත්සාහ දරන්නේද? සිහින සමඟ ජීවත් වන සෑම කෙනෙකුම සැබෑකර ගත් හා ගත යුතු සිහිනයක් තමයි නිවාස සිහිනය. එම සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට හැකියාව ලැබෙන්නේ ඉතා සුළු පිරිසකටයි. තමන්ගේ අභිමතාර්ථය පරිදි නිවසක් ගොඩනැඟීම සැලසුම් සහගතව කළහොත් එය අනිවාර්යයෙන්ම යථාර්ථයක් වූ සිහිනයක් වේවි. ඔබේ සොඳුරු නිවසේ සිහිනය සැබෑකර ගැනීමට අවශ්‍ය උපදේශයන් කිහිපයකින් ඔබව දැනුවත් කිරීමටයි මේ සූදානම.

   පළමුවෙන්ම ඔබ නිවසේ සැලැස්ම සකස් කිරීමේදී ඔබගේ ආදායමට සරිලන සැලැස්මක් සකස්කර ගැනීමට උත්සාහ කරන්න. ඔබට නිවසේ සැලැස්ම සකස් කර ගැනීම සඳහා ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ සහය ගැනීම වැදගත්. ගෘහ නිර්මාණ ශිල්පියාට තමා සතුව පවතින ආදායම් තත්ත්වය හා ඔබට නිවස වෙනුවෙන් වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය පිළිබඳව විවෘතව දැනුවත් කිරීමෙන් ඔබට අඩු වියදමින් උපරිම ඵල නෙළා ගත හැකිය. අද බොහෝ දෙනෙකු පෙලඹී තිබෙන්නේ අනුන්ගේ විලාසිතා අනුකරණය කිරීමටයි. නිවාස සැලසුම සකස් කිරීමේ ඔබේ සුව පහසුව හා පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ අදහස් ගැන ද සැලකිලිමත් විය යුතුය. මීට අමතරව සැලසුම් සකස් කිරීමේදී පවතින පරිසර සාධක පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.

  මීළඟට ඔබ අවධානය යොමු කළ යුත්තේ ණය මුදලක් ලබා ගැනීමට සුදුසු බැංකුවක් තෝරා ගැනීමයි. ලබාගන්නා ණය මුදල  අපහසුවකින් තොරව ගෙවීමට තමාට හැකියාව තිබේ ද යන්න පිළිබඳව ඔබට වැටහීමක් තිබිය යුතුය. එමෙන්ම හොඳ ගෘහ නිර්මාණ ශිල්පියෙකු තෝරාගෙන ඉදිකිරීම් ක්‍රමවේදයක් සොයා ගන්න. ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අවම මිලට ළඟම ස්ථානයකින් ලබා ගැනීමට කටයුතු කරන්නේ නම් සම්පූර්ණ ඉදිකිරීම් සඳහා ගතවන කාලය මෙන්ම කාර්යක්‍ෂමතාව ද වැඩිවීමට හේතුවකි. තමාගේ මුදලට ගැළපෙන පරිදි තම නිවස ඉදිවන්නේ ද යන්න නිරතුරුවම වැඩබිමට ගොස් අධීක්‍ෂණය කිරීම ද වැදගත් වේ.



   මීළඟට අප අවධානය යොමු කරන්නේ නිවසක් ඉදිකිරීම සඳහා සුදුසු ඉඩමක් තෝරා ගැනීමේදී අවධාරණය යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳවයි. සාමාන්‍යයෙන් ඉඩමක් තෝරා ගැනීම නිතරම අයිතිකරුගේ අභිමතය පරිදි සිදුවන්නකි. නමුත් ඔබ සුදුසු භූමියක් තෝරාගෙන අවසාන තීරණය ගැනීමට ප්‍රථමව ඔබේ ගෘහ නිර්මාණ ශිල්පියාගේ ද උපදේශය ලබා ගැනීම වැදගත්. නිවාස තැනීමේදී අනුමත අවම භූමි ප්‍රමාණය වන්නේ  පර්චස් 6කි. ඔබ තෝරා ගන්නා නැතිනම් මිලදී ගන්නා ඉඩම සමතලා, බෑවුම් සහිත කුඩා හෝ විශාල ඉඩමක් විය හැකිය. බෑවුම් සහිත ඉඩමක නිවසක් තැනීමට අධික මුදලක් වැයවන්නේ එහි පැවැත්ම සඳහා බැමි බැඳිය යුතු නිසාය.

   එමෙන්ම ඉඩමක් මිලදී ගැනීමට යාමේදී ඉඩමේ පසේ තත්ත්වය පරීක්‍ෂා කිරීම තවත් වැදගත් කරුණකි. තද පසක් සහිත ඉඩමක් තෝරා ගැනීම ආරක්‍ෂා සහිත වන අතර බුරුල් පසක් සහිත ඉඩමක ඉදිකිරීම් අත්තිවාරම් සඳහා විශාල මුදලක් වියදම් කිරීමට සිදුවේ. එමෙන්ම පිරිසිදු ඔප්පු සහිත වීම ද ඉතා වැදගත්.

  නිවසක අභ්‍යන්තර අංග වශයෙන් ඇතුළුවන/ පිටවන දොරටු, ප්‍රධාන දොරටු, ජනෙල් හා වාකවුළු, නිදන කාමර, මුළුතැන්ගෙය, සාලය හා ආලින්දය, කාර්යාල කාමර, නාන කාමර, වහලය වැනි කොටස් හැඳින්විය හැකිය. බාහිර අංග වශයෙන් ජලය ළිඳ හෝ පොදු ජලනළ පද්ධතිය, වැසිකිළිය, ඇතුළුවන ගේට්ටු, මායිම් වැට හෝ තාප්පය හා ඉඩමේ ඇති ගහකොළ ආදිය දැක්විය හැකිය. ඔබ නිවස ඉදිකිරීමේදී හා සැලසුම් සකස් කිරීමේදී මේ සියල්ල පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

   නිවසක් ගොඩකිරීමේ ක්‍රියාවලියේ ගෘහ නිර්මාණ ශිල්පියා විසින් ආරම්භක අවස්ථාවේදී කළ යුතු වැදගත් පරීක්‍ෂාවනම් පසුබිම පිළියෙල කිරීමයි. එනම් භූමියේ නිවැරදි ස්ථානයේ ගොඩනැඟිල්ල සෑදීමට හැකිවන සේ ලණු ඇද බිත්ති සෑදීම සඳහා ලකුණු කිරීමයි. මෙම පිළියෙල කිරීම ශිල්පියා විසින් අනුමත කළ විගස කොන්ත්‍රාත්කරුට අත්තිවාරම කැපීම පටන් ගත හැකිය.




   ලයිට් වෑද්දුම් සුවාරක  වෑද්දුම්, බිම් ඇතිරිලි ද්‍රව්‍ය තෝරා ගැනීමේදී ඔබ විසින්ම මෙවැනි දෑ තෝරා ගන්නවාට වඩා මෙම සියලු දෑ තෝරාගත යුතු වන්නේ සැලසුම් සංකල්පය, ක්‍රමවේදය, කාමරවල ප්‍රමාණය හා නිමාවේ ක්‍රමයට අනුවය. නිවැරදි ක්‍රමයට ගැළපීමේදී හොඳම පුද්ගලයා වන්නේ ඔබගේ සැලසුම් ශිල්පියා බැවින් ඔහුගේ අදහස් හා උපදෙස් ලබාගැනීම යෝග්‍ය වේ.  

  ඉදිකළ නිවසට වර්ණ තෝරා ගැනීමේදී ගොඩනැඟීමේ අවසාන සාධක බොහෝ විට සැලකිල්ලට ගත යුතුය. සමස්ත වර්ණය, නිවසට යොදා ගන්නා ගෘහ භාණ්ඩවලට, තිර රෙදිවලට  ගැළපිය යුතුය. එමනිසා ඔබේ නිවසේ ඇතුළත පිටත ගැළපෙන වර්ණ තෝරා ගැනීමේදී ගෘහ නිර්මාණ ශිල්පියාගේ අදහස් ද විමසන්න. නිවසේ අඳුරු ස්ථානවලට ආලෝකය ලබාදෙන වර්ණ වඩාත් යෝග්‍යයි.

   නිවස ගොඩනැඟීම සම්පූර්ණයෙන් අවසන් වූ විට කොන්ත්‍රාත්කරු විසින් එය ඔබට භාරදීමට පෙර අඩුපාඩු පරීක්‍ෂා කර බලා එවැනි තැන් ඇත්නම් ඒවා සකස් කර ගන්න. ඔබේ නිවසේ ගොඩනැඟීම අවසන් වූ පසු අනුකූලතා සහතිකයක් සඳහා අදාළ පළාත් පාලන ආයතනය වෙතින් ඔබට ඉල්ලුම් කළ හැකිය.

   මෙවැනි කරුණු පිළිබඳව අවධානය යොමුකිරීමෙන් සැලසුම් සහගතව ඔබේ සිහින නිවහන යථාර්ථයක් බවට පත්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

  
  -ෂෙහානි ලියනආරච්චි-
  
    

No comments:

Post a Comment